“පුල කච්චන්නා....පුල කච්චන්නා.... “
මීට ස්වල්ප වේලාවකට පෙර තමන් පසු කරමින් පාර දිගේ දුව ගිය කොලුවා කියමින් ගිය වචනය විදාගම මෛත්‍රී හිමිගේ සිතට තදින් වැදුනි.පිටුපස බලමින් කාටදෝ කියමින් දුවගිය කොළුවා පැවසූ වචනයට සමාන වචන කිහිපයක්ම තමා උගත් පෙරදිග භාෂාවන් කිහිපයකම යෙදෙන බව වහා මතකයට ආවත් කොලුවා පැවසූ වදන හුරු පුරුදු බවක් සමඟම නුහුරු ආගන්තුක බවක්ද උන්වහන්සේට ඇති කල සේක.
වයස අවු හත අටක් පමණ වූ කොලුවා පැවසූ වචනයට සමාන වදනක් හෙල භාෂාවේ නොමැති නිසා ඒකාන්තයෙන්ම කොලුවාගේ දෙමාපියන් භාරතයෙන් හෝ වෙනත් දේශයකින් මෙරටට පැමිනියන් විය හැක.ඉන්දියානුවන් භාවිතා කරන සෑම භාෂාවක්ම වාගේ දැන සිටි තමාට කොළුවා විසින් පැවසූ දේ නොවැටහීම පිළිබඳ සියුම් ලජ්ජාවක්ද උන් වහන්සේට ඇති විය.ඇතැම් විට ඔවුන්ගේ භාෂාව තමා මීට පෙර හසුරුවා තිබීමටද බැරි නැත.කොලුවා පැවසූ වචනයේ යම් හුරු පුරුදු බවක් තමාට දැනෙන්න ඇත්තේද එනිසාම විය හැක.තවත් ටිකක් කල්පනා කලහොත් එම මතකයන් අවදි කල හැක.විජයබා පිරිවෙනට පැමිනෙන විදෙස් සිසුන් අතරද මීට සමාන භාෂාවක් කතා කරන අය සිටින බවද යම්තම් මතකයේ ඇත.
“ නායක හාමුදුරුවනේ අපි යන්න ආපු දානේ ගෙදර පහු වුනා නේද?“
තමා සමඟ පසුපසින් පැමිණි තම ගෝල හිමි නම වූ රාහුල හිමියන්ගේ හඩින් ව්දාගම හිමියන් කලබල විය.ඇත්ත නේන්නම් තමා ගෝල නම සමඟ දනකට වඩින අතරතුරදී මහමඟදී ඇසුනු කොළුවාගේ නුහුරු වචනය ගැන සිතමින්ම ගමන් කිරීම නිසා දාන ගෙදර පසු වන තුරුම ව්දාගම හිමියන්ට ඒ බව නොදැනුනි.
රාහුල හිමි සමඟ නැවත ආපසු හැරී දාන ගෙදරට ගිය නමුත් විදාගම හිමිගේ සිත යොමුවී තිබුනේ අතරමඟදී හමුවූ කොළුවා පැවසූ වචනය පිළිබඳවය.දානය පිළිගන්වන විටත් විදාගම හිමියන්කල්පනා කරමින් සිටිනු ගෘහ මූලික දායක මහතාද දුටුවේය.
“ ඇයි නායක හාමුදුරුවනේ අසනීපයක් වත්ද?“
දායක මහතුන් කිහිප දෙනෙකුම ඇසු එකම ගැටළුවට උන්වහන්සේ සිනහවක් පාමින් තමා අසනීපයෙන් නොවන බව පෙන්වීය.
“පුල කච්චන්නා....පුල කච්චන්නා.... “ දන් වලදින විටත් කෙළුවාගේ වචනය උන් වහන්සේගේ සිත තුල රැව් දෙන්නට විය.
ආපසු එන අතරමඟදීත් උන්වහන්සේගේ සිහිය තිබුනේ කොළුවා පැවසූ වදනේ අරුත දැන ගැනීම පිළිබදවය.තම ගුරු හිමියන්ගේ වෙනස රාහුල හිමිටද පෙනුනු නමුත් ගුරු හිමියන්ගෙන් විමසීමක් නොකර දෙදෙනාම නැවත පන්සලට ආහ.
පන්සලට පැමිනි විගස පොත් ගුලට වැදුනු විදාගම හිමියන් පාලි සංස්කෘත හා වෙනත් ආර්්‍ය භාෂා ශබ්ද කෝෂ පොත් පෙරලමින් “පුල කච්චන්නා.“ වචනයේ අරුත සොයන්නට විය.මුළු පොත් ගුලේම පොත් පරීක්ෂා කල නමුත් එම වචනය අයත් භාෂාව හෝ එහි තේරුම සොයා ගැනීමට නොහැකි විය.
එදා රාත්‍රියද විදාගම හිමියන්ට නින්දක් නොවුනි.පොත් පත් ලේඛන බලා වචනයේ තේරුම සෙවීම අතහැර එම අවස්ථාව මෙනෙහි කරමින් කොලුවා පැවසූ වචනයේ අර්ථය සොයා ගැනීමට උත්සාහ කලහ.
කොලුවා ඇඳ සිටියේ යටි කයට ඇදුමක් පමනි.එම ඇදුම හෙල දරුවන් අදිනා ඇදුම් වලට සමාන වීම නිසා එමගින් ඔහුගේ සම්භවය දැන ගැනීම අසීරුය. “පුල කච්චන්නා....පුල කච්චන්නා.... “ යනුවෙන් කෑ ගසමින් පිටුපස බලමින් දුවමින් පැවසූ නිසා එය නිවසේ සිටි මව හෝ වෙනත් වැඩිහිටියකුට කල ආමන්ත්‍රණයක් විය හැකිය.වචනයෙහි තේරුම සඳහා අනුමාන කීපයක්ම නාහිමිගේ සිතට ආහ.
“මම යනවා“ , “ඉක්මනට එන්නම්“ ..... කොලුවාගේ එවෙලේ හැසිරීම අනුව එහි අර්ථය එවැන්නක් විය හැකියි.
ඇතැම් විට කොලුවාට ගොත ගැසීමක් හෝ වචන හරිහැටි උච්චාරනය කල නොහැකි වීමක් තිබෙන්නට ඇත.කොලුගේ කටින් පිටවූ වචනයේ අරුත පොත් පත් වලින් ලබා ගත නොහැකි වීමටද හේතුව එය විය හැක.
කොලුවාගේ දෙමාපියන් මෙරටට පැමිණ ස්වදේශිකයන් සමඟ වාසය කිරීමේදී මව් භාෂාවේ යම් යම් වෙනස්වීම් ලොප් වීම් එකතු වීම් සිදුවන නිසා “පුල කච්චන්නා..“ වචනයද එලෙස භාෂා කීපයක සංකලනයකින් සෑදුනු වචනයක් විය හැක.කෙසේ වුවත් ප්‍රකාශයේ මුල් වචනය වූ “පුල“ යන්න ලඝු අක්ෂර දෙකකින් සෑදීම හා දෙවන පර්යන්තයේ මුල් ශබ්දය “කච්“ යන්නෙන් ස්වරය මන්දනය වීමක් ඒ සමඟම නැවත “චන්නා“ සමගින් එක්වරම උච්ච විමෙන් ඝන පූරණය හොදින් සිදුවීමත් හදවතට හා ආශ්වාස ප්‍රාශ්වාසයට පහසු වීමත් නිසා මෙම භාෂාව අනිවාර්යෙන් පෞඩත්වයක් තිබූ ජනතාවක් භාවිතා කල එකක් විය යුතුමය.
මෙවැනි විවිධාකාරයේ තර්කයන් ඔස්සේ සිතමින් මුළු රාත්‍රියම නිදි වර්ජිතව ගතකල විදාගම හිමි අවසානයේ තීරණය කලේ හෙට උදයේම කොළුවා සිටි ස්ථානයට ගොස් ඔහුගේ දෙමාපියන් හමුවී කතා බස් කර ඔවුන්ගේ භාෂාව පිළිබඳ වැටහීමක් ලබා ගත යුතු බවයි.
පසුදින උදයේදී රාහුල ගෝල හිමියන් දුටුවේ නිදි වර්ජිතව තඩිස්සි වී ගිය ඇස් ඇතිව අපහසුවෙන් සිටින තම ගුරු හිමියන්ය.
“ මොකද අපේ හාමුදුරුවනේ මේ ඇස් දෙකත් තඩිස්සි වෙලා.අසනීපයක්වත්ද?“
තමාගේ සිතට වදදුන් කාරණාව පිළිබඳව තම ගෝල රාහුල හිමිට පැවසීමට විදාගම හිමිගේ සිත අදිමදි කලත් තම ගෝලයාද භාෂා කීපයක් දැන සිටි අයෙක් නිසා හා තම ගෝල නමගෙන් බොහෝ අවස්ථාවල තමාටද ගුරු හරුකම් ලැබී ඇති නිසා ගෝල නමටද තමා පෙලු අපහසුවට හේතුව කීහ.
“ රාහුලට මතකද අපි අර ඊයේ දානෙ ගෙදර වඩිද්දි අතර මඟදි පොඩි ළමයෙක් පිටිපස්ස හැරිහැරි “පුල කච්චන්නා....පුල කච්චන්නා.... “ කිය කිය අපි දෙන්නවත් පහු කරගෙන දුවගෙන ගියා.ඒ ළමයා කිව්ව ඒ වචනෙ තේරුම මොකක්ද කියල මම ඊයේ ඉදන්ම හොයනවා තාම මට ඒ වචනෙ තේරුම හොයා ගන්න බැරි වුනානෙ රාහුල..“
“අනේ අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ මෙච්චර වෙලා හෙව්වෙ ඕක ගැනද? අපේ හාමුදුරුවනේ දන්නව ඇතිනෙ, ඒ හරියෙ පාරෙ එක පැත්තක ඉන්නෙ රදා කුලේ උදවිය, අනිත් පැත්තෙ කුඹල් කුලේ උදවිය. ඉතින් ඔය දෙපැත්තෙ කොල්ලො දෙන්නෙක් රණ්ඩුවක පැටලෙන්ට ඇති. ඔය දුවපු කොල්ල රදා කුළේ එකෙක් වෙන්න ඕනෙ. ඉතින් ඒ කොල්ල ගහයි කියන බයට වෙන්න ඕනෙ බැන බැන දිව්වෙ.”
“අපේ හාමුදුරුවනේ කොල්ල බයට වචනෙ නොපිට හරවලයි කිය කියා ගියේ, කල පුච්චන්නා කියන එක.”
ප.ලි. “තොටගමුවේ ශ්‍රී රාහුල හිමි හා බැදුනු රස කතා “ ලේබලය යටතේ ඇති ලිපි වෙනත් අඩවියක හෝ ලේඛනයකට යොදා ගන්නේ නම් ලිපියට මෙම අඩවියේ සබැදියක්ද එකතු කල යුතුය.නැත්නම් එය නිර්මාණ මංකොල්ලයකි.
No comments:
Post a Comment